Feb 5, 2017

රෝන් නම්බර්....





















තඹ රත්තරං පාට හිරු එළිය වැහි මාර ගහේ අතු අග්ගිස්සෙන් ලාවට සුදු පාට බිත්ති මතට වැටි ඇත.තොරතෝංචියක් නැතිව කියවන කුරුළු රෑන් අඳුරට හොරා තම කැදලි කරා ඇදි යති. පිල් අගුවේ සිටින බැළළිය පැටවුන් නින්දට යැවිමට පෙර මුහුණ සෝදවයි. “තිරිසන් සතා වුනත් මේකා හැම පැට්යටම එක විදිහට ආදරෙයිනේ” මම මටම කියා ගත්තෙමි. මට මතකයි මම තාත්තෙක් වුනාම කොච්චර සතුටු වුනාද කියලා.අපේ හාමිනේ ඉතිං පොඩි එකා ගැනමනේ ඇහැගහගෙන හිටියේ. පොඩ්ඩා අඩහැර  පැවොත් ඇති තන පුඩුව කටේ තියනවා. කොල්ලට බඩගිනි හැදිලා කියලා.. හ්ම්... මට මතකයි අද වගේ , මගේ සරම තෙමාපුවාම හාවක් හුවක් නැතුව ඉන්න විදිහය හරියට  ලොකු මිනිහෙක් වගෙයි.



“අපේ මහත්තයා මම තේ කහට උගුරක්වත් ගේන්නද ?” “දවල් බත්වලට එළවළුවක් හදා ගත්තොත් රෑටත් ඇතිවෙයි”

පුතාලගේ අම්මාය. “ඔව් ඔව් අපි දෙන්නට අයේ වෙන මොනවද”?ඔය තියෙන දෙයක් තම්බලා ගත්තනන්”, :අපේ එකා නාස්ති කරනවද දන්නෑ යාළුවොත් එක්ක”? “ කීයක් හරී අපි ඉතිරි කරලා උගේ පොතට දැම්මොත් නේද හොඳ”?


“අන්න අපේ මහත්තයා මෝටර් බයිසිකලයක් මේ පැත්තට එනවා”. “ මම විගහට පාර දෙසට විපරම් කෙරුවෙමි”. හංදිය දෙසින් පැමිණි මෝටර් සයිකලය අපේ ගේ කෑල්ල පසු කරන් ගියේ හරියට කාලය ඉගිලිලා ගියා වගේ. මට මතකයි පොඩි එකා විශ්ව විශ්ව විද්‍යාලය යන කොට ගේ ඉස්සරහා තිබුණු වැහි මාර පැලය දැන් මහා ගහක් වෙලානේ. ගුරු පාර කළු පාට වෙලා. ඒත් අපි නම් එදා ඉඳපු මිනිස්සුමයි තාමත්.

“මේ අපේ හාමිනේ පොඩි එකා පෝන් කෝල් එකක්වත් දුන් නැතේ”, දවල්ට කනකොටත් පිට උගුරේ ගියා. කොල්ලට අසනීපයක්වත්ද දන්නෑ”.


මමත් මේ ඇහැ දික් කරගෙන ඉන්නේ මේ සතියෙවත් ගෙදර ඒවිද කියලා මහත්තයා”. “ අපේ එකාට කෝල් එකක්වත් ගන්න වේලාවක් නැතුව ඇති මයේ හිතේ”. “කොළඹ ලොකු රස්සාවක්නේ කරන්නේ”. “ඉන්ග්‍රීසීයෙන්ලුනේ වැඩ කරන්න තියෙන්නේ”. “අපිට ඉතිං ඔවා තේරෙන එකැක්ය”. “අපේ මහත්තයා ගිය පාර මම පුතාගේ දුවට කථා කරනකොට, පොඩි කොලු පැටියා කියනවා ඇහුනේබය වෙන්ට එපා අම්මේ, මම අම්මගේ ලිප්ටිප් එක හොයලා දෙන්නම් කියලා”. “අනේ මන්දා අද කාලේ හැදෙන පොඩි එවුන්, අම්මපා අපේ මහත්තයා, අපි ගාව හිට්යනන් මම ඉරට්ටෙන් දෙකක් දීලා හදන්නේ ඔං..”


‘අනේ, අනේ, අපේ හාමිනේ නිකං යන්න. මම දන්නැතේ කෝටු පාර දීලා ළමයි හදන විදිය. මේ ඔය මොනා හරි රත් කරලා ගත්තොත් හොඳයි නේද අපි දෙන්නට..”


දන්නේම නැතිව තත්පර ඉගිල්ලී ඇත. මා වවුලන් හෙමිහිට එකා දෙන්නා එහේ මෙහේ රංචු ගැසීමට පටන් ගෙන ඇත. බෙරිහන් දුන් කුරුල්ලෝ දැන් සැපට ගුලි වෙලා ඇතෙයි මට සිතෙයි. බැළළියත් දරුවන් නාවන කටයුත්ත හමාර කර ඇත. පුස් පැටවුන් බැළළියගේ නැට්ට හිමි කර ගන්නට දඟලයි. පූසී දැන් කුණු ගාගන්නට එපා කියනවා වගේ ඤව් කියයි, ඒත් මුන් සතුටෙන් ඉන්නේ කියලා මට සිතෙයි. මම දිගු සුසුමක් හෙළුවෙමි. මට හොරෙන් හාමිනෙත්, හාමිනෙට නොදැනෙන්න මමත් ඇහැ පාර අද්දරට යවන්නේ හිත බල කරන නිසාත් නොවෙයි, මම නැති දවසකට හාමිනේ තනිවෙයි කියලා හිතෙන හින්දවත්, හාමිනේ නැති දවසට මම තනිවෙයි කියලා හාමිනේ හිතන හින්දවත් නෙවෙයි, පොඩි එකා මාස දෙක තුනකින් ආවේ නැත්තේ, කරදරයක්වත්ද කියලා හිතෙන නිසයි.


ට්රිං ට්රිං…. “ මෙන්න අපේ මහත්තයා පෝන් කෝල් එකක්”, අතේ වතුර පිටින්ම හනිකට දිව අපේ හාමිනේ දුරකථනයේ බොත්තම එබුවේය. “හෙලෝ..... කවුද කථා කරන්නේ”? හාමිනේගේ මූණ අඳුර විය. ඇස් ජ්නේලය එහා හිස් අහස දෙසට යොමු විය. මම දිග හුස්මක් පිට කර පුරුදු අහස දෙස බැලුවෙමි. “වැරදි අංකයක් බුදු සරණයි” අපේ හාමිනෙගේ හඬ නැවතත් මට ඇසුනි....

No comments: