Sep 16, 2016

වැහි වළාකුළු.....



වෙලාව 6.20 යි බං, නැඟිටපන් නැඟිටපන් අද සදුදත් එක්ක. විනාඩි 2ක් පහු වුනොත් සතියකට හරියන්ට අරූගෙන් ජාතකය අහගන්ට එපෑය. කපරාදු කරපු නැති අඩි අටේ කාමරයේ දොරට ඉහලින් වැටෙන හිරු එළියත් එක්ක දවස ගෙවන්නට කෑගහසන පියුමි.

"මොනවා කරන්නද ඉර පායාලනේ" දවස හොඳ විදිහට කෙසේ හෝ පටන් ගන්න හිතුවත් කියවෙන්නේ කාලකණ්ණි වචනමයි. හනි හනිකට කෑලි හතර පහ සෝදා ගත් මම වැලේ තිබුණු ගවුමක් දා ගත්තේ බස් එකකට වෙලාවත් ඉතිරිව තිබියදිය."අපෝ ක්‍රීම් ටිකක්වත් ගා ගනින් බං" කැඩුණු කණ්ණාඩිය ඉදිරිපිට හැඩ වෙන පියුමි . කෙසේ වෙතත් නියමිත වෙලාවටත් පෙර වැඩට පැමිණි අප දෙදෙනා මැෂිමේ ඉඳ ගත්තේ පැමිණෙන එකි නෙකාගේ කුඹි කතාවන් සමඟය.

"ඊයේ , මේ ආදරය ෂෝක් නේ.අද ඇත්තට මොකක් වෙයිද හලෝ....? "මාර වැඩේනේ බං කාටවත් කියන්න එපා, සුජීවගේ කෙල්ල, කොල්ලෙක් ගිහින්ලලු නේ. දැන් ගෑනිගේ වක්කඩේ සැර අඩු වෙයි. "කට්ටය අටට කලින් News 1St පටන් ගෙනය. එහෙත් මම මොනවා කතා කරන්නද? එකේ එකක් අරගෙන කතා කරපුවා කියන්නද?මමත හැමදේම දන්නවා වගේ හුමිටි තබමින් ඇහැ කරකවන විට එක එල්ලේ නදීෂාගේ මේසය නෙත ගැටුණි.

ඇය ආයතනයේ උසස් තනතුරක් දරන්නී . සුදු . කෙට්ටු . නිතර මුහුණ හිනාවෙන් පුරවාගෙන සිටින්නීය. මටත් විදිහට හිනා වෙන්න පුළුවන් නම්, මගේ යටි සිත මට කියයි, වෙනදා සේවකයන් සමඟ කට කියවගෙන පැමිණි ඇය, මාස කිහිපයක සිට සන්සුන් වී ඇත. අවිදින්නේ සෙමින් . දොඩම්, නෙල්ලි වැනි පළතුරක් ඇගේ මේසය උඩ ඇති බව අහක බලන මගේ හිත පරයා ඇසට පෙනුණි. මේකි, මේකේ එවුන්ට කොච්චර බැන්නත්, මේකෙ ඉන්න එවුන්ට ගානක් නෑනේ... විලිලැජ්ජාවක් නැති එවුන්... ඔක්කොම මිස් කිය කිය හැම ඇටේම මේසේ උඩ තියනවා.

"ඉනෝකා, ඕක අතගගා ඉන්නේ... හෙට ඉවර කරන්නද...?" මම පියවි සිහියට ආවේ සුපර්වයිසගේ සුපුරුදු ටකයත් එක්කය. " Target එක කරගන්නවා. අතගගා ඉන්නේ නැතුව." මම ඔළුව ඔසවා හිනා වීමට උත්සාහා කලෙමි.

"ඉනෝකා, ඉනෝකා" "ඇයි යකෝ ඉනෝකා තමයි." මම හයියෙන් කෑ ගැසුවෙමි. "මෙන්න ඔයාගේ ගිය මාසේ පැමිණිමේ දීමනවා කපලා." එය රේකෝඩර්ගේ හඬ විය.මට දෙලොව රත් විය.කටේ කෙළ සීදී ගියේය. ගිය මාසේ දොස්තර කෙනෙක් හමුවෙන්න ගියා මිසක් නිවාඩු ඉල්ලීමට සිහියක් නොවීය. එහෙනම් මගේ දෙදාස් හාරසීයත් කෙළවිලා, මම.. මට කියා ගත්තෙමි,වෙන කෙල්ලෝ සල්ලි එකතු කරන්නේ රත්තරං මාල, ඇදුම් ගන්නටය.ඒත් මම... මට කිසිත් දැන් වුවමනා නැත. ජිවත් වෙන්නට තියෙන බිය තත්පරයෙන් තත්පරය වැඩි වෙයි. උබට තව දඟලන්න වැඩි කාලයක් හම්බෙන්නෑ ඉනෝකා, මගේ යටි සිත කියන්වා මට ඇසෙයි.
 
ඈත පරිස්සමට ඉඳගෙන සිටින නදීශා ඇසක් පොඩිකර පළතුරක් තොල ගාන හැටි නැවතත් මගේ අසරණ ඇස ගැටිණි. මේකිගේ තියෙන ආඩ්ම්බරකම... ගැහෙන යටි සිත මැෂිමට වඩා වේගයෙන් කෑ ගහයි. එක හුස්මට මම ගොඩ කැඩුවෙමි. "කීයක් කෙළවිලාද දන්නෑ ඉනෝකා",හඬන හිත යළිත් මතක් කරයි. මම වෙරළු ගැට,ඇඹුල් ජාති ගැන හිතුවේ නැත.ඇන්නාසි ගැට පුළුවන් තරම් කෑවෙමි.බැහැපු පඩිපෙල පැන්නෙම්. මිරිස් ටිකක් වැඩිපුර කෑමට ගත්තේමි, බැරිම තැන
විසිපන්දහක්වත් එකතු කරන්නට හිතුවේ කොහොම හෝ ගැළවීමක් හොයන්නට හිතාගෙනය.

පෙර දින රාත්‍රීයේ කලේ අතේ තිබුණු පිච්චියත් Phone එකට වියදම් කරපු එකය.දමිත්ට කතා කරලා විසදුමක් නැති තැන දමිත්ගේ අම්මට කතා කරපු එකය.ඒත් අන්තිමට තේරුනේ, දමිත්ගේ අම්මලා තාත්තලා ඔක්කොම එකයි යන්නය,"අපේ එකා අපි රට යවනවා.තෝ ඕනේ මඟුලක් කර ගනින්" දමිත්ගේ අම්මගේ වචන විය.
මම දැනටමත් ගොහොරු මඩේ ගිලී ඇති බව මට වැටහුණි. මම කාටත් හොරෙන් දිග හුස්මක් පිට කළෙමි,විසඳුමක් නැති ආදරයේ මුලා වු කඳුළු කැටවලට ඔහේ ගලන්නට මම ඉඩ හැරියේ හුස්ම ගන්ට දඟලන හිතට සහනයක් ලැබෙයි සිතා ය.

No comments: