Aug 23, 2019

බස් එකේ යන ගමන්....















හිමිදිරියේ
සිප ගනිමි
ගහ කොළ
සිසිල් සුළඟ
සිත ගත
පිරෙන්නට...
වැලැද ගමි
දුක දොම්නස
කටුක බව
සහ
දහඩිය සුවඳ
දැඩි ලෙන්ගතු කමින්..
පියවර තබමි
දිරි ගෙන
අපේම පංතියේ
එවුන්ට
හොඳම සේවකයා වෙන්න..

Jul 23, 2019

6 - හය...



හිමිව සිටි 
අවුරුදු 
හය ට 
වඩා
දැනේනවා මට
අහිමිව ගිය
මාස 
හය...

Jul 19, 2019

විකිනෙන හීන...

හීන
මල්ලක්
පුරෝගෙන..
අදත්
මම
ලොතැරැය්යක්
මිලදී
ගත්තා..


Jul 17, 2019

FINAL ANSWER...

හීන බර වැඩියි
වෙහෙසයි 
මහන්සියි
මට.. 

Jul 16, 2019

පිළියම..

                                                                                    අම්මා කියනවා මට..

ඔබට දැන් අපලයි ලූ..
සිත් රිදුම් බොහොමයි ලූ..
කරදරත් එමටයි ලූ..
නව ග්‍රහයෝ නීචයි ලූ..
පූජාවක් තියමූ ලූ..
යන්ත්‍රයක් දාමූ ලූ..
හෙට දවස හරියයි ලූ..

හිත කියනවා මට..
නුබ නැතිව පාලුයි ලූ..

Jul 13, 2019

රිදුනු තැන් ජීවිතයේ බෝමා..


රිදුනු තැන් ජීවිතයේ බෝමා..
කදුළුු බිදුවක දෙපැත්තක් ඔබ මා...
සීතලෙන් ගැහෙනා...
ඒ කදුළුු බිදුවට නමක් තියමුද
ආදරේ කියලා...

ගායනය :අනුස්කා මදුශානී.https://www.youtube.com/watch?v=ixrklHheWg0

Feb 5, 2017

රෝන් නම්බර්....





















තඹ රත්තරං පාට හිරු එළිය වැහි මාර ගහේ අතු අග්ගිස්සෙන් ලාවට සුදු පාට බිත්ති මතට වැටි ඇත.තොරතෝංචියක් නැතිව කියවන කුරුළු රෑන් අඳුරට හොරා තම කැදලි කරා ඇදි යති. පිල් අගුවේ සිටින බැළළිය පැටවුන් නින්දට යැවිමට පෙර මුහුණ සෝදවයි. “තිරිසන් සතා වුනත් මේකා හැම පැට්යටම එක විදිහට ආදරෙයිනේ” මම මටම කියා ගත්තෙමි. මට මතකයි මම තාත්තෙක් වුනාම කොච්චර සතුටු වුනාද කියලා.අපේ හාමිනේ ඉතිං පොඩි එකා ගැනමනේ ඇහැගහගෙන හිටියේ. පොඩ්ඩා අඩහැර  පැවොත් ඇති තන පුඩුව කටේ තියනවා. කොල්ලට බඩගිනි හැදිලා කියලා.. හ්ම්... මට මතකයි අද වගේ , මගේ සරම තෙමාපුවාම හාවක් හුවක් නැතුව ඉන්න විදිහය හරියට  ලොකු මිනිහෙක් වගෙයි.



“අපේ මහත්තයා මම තේ කහට උගුරක්වත් ගේන්නද ?” “දවල් බත්වලට එළවළුවක් හදා ගත්තොත් රෑටත් ඇතිවෙයි”

පුතාලගේ අම්මාය. “ඔව් ඔව් අපි දෙන්නට අයේ වෙන මොනවද”?ඔය තියෙන දෙයක් තම්බලා ගත්තනන්”, :අපේ එකා නාස්ති කරනවද දන්නෑ යාළුවොත් එක්ක”? “ කීයක් හරී අපි ඉතිරි කරලා උගේ පොතට දැම්මොත් නේද හොඳ”?


“අන්න අපේ මහත්තයා මෝටර් බයිසිකලයක් මේ පැත්තට එනවා”. “ මම විගහට පාර දෙසට විපරම් කෙරුවෙමි”. හංදිය දෙසින් පැමිණි මෝටර් සයිකලය අපේ ගේ කෑල්ල පසු කරන් ගියේ හරියට කාලය ඉගිලිලා ගියා වගේ. මට මතකයි පොඩි එකා විශ්ව විශ්ව විද්‍යාලය යන කොට ගේ ඉස්සරහා තිබුණු වැහි මාර පැලය දැන් මහා ගහක් වෙලානේ. ගුරු පාර කළු පාට වෙලා. ඒත් අපි නම් එදා ඉඳපු මිනිස්සුමයි තාමත්.

“මේ අපේ හාමිනේ පොඩි එකා පෝන් කෝල් එකක්වත් දුන් නැතේ”, දවල්ට කනකොටත් පිට උගුරේ ගියා. කොල්ලට අසනීපයක්වත්ද දන්නෑ”.


මමත් මේ ඇහැ දික් කරගෙන ඉන්නේ මේ සතියෙවත් ගෙදර ඒවිද කියලා මහත්තයා”. “ අපේ එකාට කෝල් එකක්වත් ගන්න වේලාවක් නැතුව ඇති මයේ හිතේ”. “කොළඹ ලොකු රස්සාවක්නේ කරන්නේ”. “ඉන්ග්‍රීසීයෙන්ලුනේ වැඩ කරන්න තියෙන්නේ”. “අපිට ඉතිං ඔවා තේරෙන එකැක්ය”. “අපේ මහත්තයා ගිය පාර මම පුතාගේ දුවට කථා කරනකොට, පොඩි කොලු පැටියා කියනවා ඇහුනේබය වෙන්ට එපා අම්මේ, මම අම්මගේ ලිප්ටිප් එක හොයලා දෙන්නම් කියලා”. “අනේ මන්දා අද කාලේ හැදෙන පොඩි එවුන්, අම්මපා අපේ මහත්තයා, අපි ගාව හිට්යනන් මම ඉරට්ටෙන් දෙකක් දීලා හදන්නේ ඔං..”


‘අනේ, අනේ, අපේ හාමිනේ නිකං යන්න. මම දන්නැතේ කෝටු පාර දීලා ළමයි හදන විදිය. මේ ඔය මොනා හරි රත් කරලා ගත්තොත් හොඳයි නේද අපි දෙන්නට..”


දන්නේම නැතිව තත්පර ඉගිල්ලී ඇත. මා වවුලන් හෙමිහිට එකා දෙන්නා එහේ මෙහේ රංචු ගැසීමට පටන් ගෙන ඇත. බෙරිහන් දුන් කුරුල්ලෝ දැන් සැපට ගුලි වෙලා ඇතෙයි මට සිතෙයි. බැළළියත් දරුවන් නාවන කටයුත්ත හමාර කර ඇත. පුස් පැටවුන් බැළළියගේ නැට්ට හිමි කර ගන්නට දඟලයි. පූසී දැන් කුණු ගාගන්නට එපා කියනවා වගේ ඤව් කියයි, ඒත් මුන් සතුටෙන් ඉන්නේ කියලා මට සිතෙයි. මම දිගු සුසුමක් හෙළුවෙමි. මට හොරෙන් හාමිනෙත්, හාමිනෙට නොදැනෙන්න මමත් ඇහැ පාර අද්දරට යවන්නේ හිත බල කරන නිසාත් නොවෙයි, මම නැති දවසකට හාමිනේ තනිවෙයි කියලා හිතෙන හින්දවත්, හාමිනේ නැති දවසට මම තනිවෙයි කියලා හාමිනේ හිතන හින්දවත් නෙවෙයි, පොඩි එකා මාස දෙක තුනකින් ආවේ නැත්තේ, කරදරයක්වත්ද කියලා හිතෙන නිසයි.


ට්රිං ට්රිං…. “ මෙන්න අපේ මහත්තයා පෝන් කෝල් එකක්”, අතේ වතුර පිටින්ම හනිකට දිව අපේ හාමිනේ දුරකථනයේ බොත්තම එබුවේය. “හෙලෝ..... කවුද කථා කරන්නේ”? හාමිනේගේ මූණ අඳුර විය. ඇස් ජ්නේලය එහා හිස් අහස දෙසට යොමු විය. මම දිග හුස්මක් පිට කර පුරුදු අහස දෙස බැලුවෙමි. “වැරදි අංකයක් බුදු සරණයි” අපේ හාමිනෙගේ හඬ නැවතත් මට ඇසුනි....

Sep 16, 2016

වැහි වළාකුළු.....



වෙලාව 6.20 යි බං, නැඟිටපන් නැඟිටපන් අද සදුදත් එක්ක. විනාඩි 2ක් පහු වුනොත් සතියකට හරියන්ට අරූගෙන් ජාතකය අහගන්ට එපෑය. කපරාදු කරපු නැති අඩි අටේ කාමරයේ දොරට ඉහලින් වැටෙන හිරු එළියත් එක්ක දවස ගෙවන්නට කෑගහසන පියුමි.

"මොනවා කරන්නද ඉර පායාලනේ" දවස හොඳ විදිහට කෙසේ හෝ පටන් ගන්න හිතුවත් කියවෙන්නේ කාලකණ්ණි වචනමයි. හනි හනිකට කෑලි හතර පහ සෝදා ගත් මම වැලේ තිබුණු ගවුමක් දා ගත්තේ බස් එකකට වෙලාවත් ඉතිරිව තිබියදිය."අපෝ ක්‍රීම් ටිකක්වත් ගා ගනින් බං" කැඩුණු කණ්ණාඩිය ඉදිරිපිට හැඩ වෙන පියුමි . කෙසේ වෙතත් නියමිත වෙලාවටත් පෙර වැඩට පැමිණි අප දෙදෙනා මැෂිමේ ඉඳ ගත්තේ පැමිණෙන එකි නෙකාගේ කුඹි කතාවන් සමඟය.

"ඊයේ , මේ ආදරය ෂෝක් නේ.අද ඇත්තට මොකක් වෙයිද හලෝ....? "මාර වැඩේනේ බං කාටවත් කියන්න එපා, සුජීවගේ කෙල්ල, කොල්ලෙක් ගිහින්ලලු නේ. දැන් ගෑනිගේ වක්කඩේ සැර අඩු වෙයි. "කට්ටය අටට කලින් News 1St පටන් ගෙනය. එහෙත් මම මොනවා කතා කරන්නද? එකේ එකක් අරගෙන කතා කරපුවා කියන්නද?මමත හැමදේම දන්නවා වගේ හුමිටි තබමින් ඇහැ කරකවන විට එක එල්ලේ නදීෂාගේ මේසය නෙත ගැටුණි.

ඇය ආයතනයේ උසස් තනතුරක් දරන්නී . සුදු . කෙට්ටු . නිතර මුහුණ හිනාවෙන් පුරවාගෙන සිටින්නීය. මටත් විදිහට හිනා වෙන්න පුළුවන් නම්, මගේ යටි සිත මට කියයි, වෙනදා සේවකයන් සමඟ කට කියවගෙන පැමිණි ඇය, මාස කිහිපයක සිට සන්සුන් වී ඇත. අවිදින්නේ සෙමින් . දොඩම්, නෙල්ලි වැනි පළතුරක් ඇගේ මේසය උඩ ඇති බව අහක බලන මගේ හිත පරයා ඇසට පෙනුණි. මේකි, මේකේ එවුන්ට කොච්චර බැන්නත්, මේකෙ ඉන්න එවුන්ට ගානක් නෑනේ... විලිලැජ්ජාවක් නැති එවුන්... ඔක්කොම මිස් කිය කිය හැම ඇටේම මේසේ උඩ තියනවා.

"ඉනෝකා, ඕක අතගගා ඉන්නේ... හෙට ඉවර කරන්නද...?" මම පියවි සිහියට ආවේ සුපර්වයිසගේ සුපුරුදු ටකයත් එක්කය. " Target එක කරගන්නවා. අතගගා ඉන්නේ නැතුව." මම ඔළුව ඔසවා හිනා වීමට උත්සාහා කලෙමි.

"ඉනෝකා, ඉනෝකා" "ඇයි යකෝ ඉනෝකා තමයි." මම හයියෙන් කෑ ගැසුවෙමි. "මෙන්න ඔයාගේ ගිය මාසේ පැමිණිමේ දීමනවා කපලා." එය රේකෝඩර්ගේ හඬ විය.මට දෙලොව රත් විය.කටේ කෙළ සීදී ගියේය. ගිය මාසේ දොස්තර කෙනෙක් හමුවෙන්න ගියා මිසක් නිවාඩු ඉල්ලීමට සිහියක් නොවීය. එහෙනම් මගේ දෙදාස් හාරසීයත් කෙළවිලා, මම.. මට කියා ගත්තෙමි,වෙන කෙල්ලෝ සල්ලි එකතු කරන්නේ රත්තරං මාල, ඇදුම් ගන්නටය.ඒත් මම... මට කිසිත් දැන් වුවමනා නැත. ජිවත් වෙන්නට තියෙන බිය තත්පරයෙන් තත්පරය වැඩි වෙයි. උබට තව දඟලන්න වැඩි කාලයක් හම්බෙන්නෑ ඉනෝකා, මගේ යටි සිත කියන්වා මට ඇසෙයි.
 
ඈත පරිස්සමට ඉඳගෙන සිටින නදීශා ඇසක් පොඩිකර පළතුරක් තොල ගාන හැටි නැවතත් මගේ අසරණ ඇස ගැටිණි. මේකිගේ තියෙන ආඩ්ම්බරකම... ගැහෙන යටි සිත මැෂිමට වඩා වේගයෙන් කෑ ගහයි. එක හුස්මට මම ගොඩ කැඩුවෙමි. "කීයක් කෙළවිලාද දන්නෑ ඉනෝකා",හඬන හිත යළිත් මතක් කරයි. මම වෙරළු ගැට,ඇඹුල් ජාති ගැන හිතුවේ නැත.ඇන්නාසි ගැට පුළුවන් තරම් කෑවෙමි.බැහැපු පඩිපෙල පැන්නෙම්. මිරිස් ටිකක් වැඩිපුර කෑමට ගත්තේමි, බැරිම තැන
විසිපන්දහක්වත් එකතු කරන්නට හිතුවේ කොහොම හෝ ගැළවීමක් හොයන්නට හිතාගෙනය.

පෙර දින රාත්‍රීයේ කලේ අතේ තිබුණු පිච්චියත් Phone එකට වියදම් කරපු එකය.දමිත්ට කතා කරලා විසදුමක් නැති තැන දමිත්ගේ අම්මට කතා කරපු එකය.ඒත් අන්තිමට තේරුනේ, දමිත්ගේ අම්මලා තාත්තලා ඔක්කොම එකයි යන්නය,"අපේ එකා අපි රට යවනවා.තෝ ඕනේ මඟුලක් කර ගනින්" දමිත්ගේ අම්මගේ වචන විය.
මම දැනටමත් ගොහොරු මඩේ ගිලී ඇති බව මට වැටහුණි. මම කාටත් හොරෙන් දිග හුස්මක් පිට කළෙමි,විසඳුමක් නැති ආදරයේ මුලා වු කඳුළු කැටවලට ඔහේ ගලන්නට මම ඉඩ හැරියේ හුස්ම ගන්ට දඟලන හිතට සහනයක් ලැබෙයි සිතා ය.